පළිගත් භූත ආත්මය 01 කොටස

71
0

පළිගත් භූත ආත්මය

01 කොටස

ලඳු කැලෑ, විශාල උස් ගස්, පොල් වතු මෙන්ම කුඹුරු යායවලින් සමන්විත මරද ගම්මානයට තවත් එක් සඳ ඇති රැයක්

උදා විය.

සඳ පායා සඳ කිරණ ගස් වැල් හා පොළොව මත පතිත

වේ නම් රාත්‍රිය සුන්දර බව පැවසිය හැකිය. මෙදින සඳ එළියෙන්

ගම්මානය ආලෝකමත් කිරීමට සොබාදහමින් බාධා පැමිණ තිබුණි.

සිහින් වැහි පොද, ශීතල සුළං රැළි, කළු වලා පිරි අහස නිසා එය

මූසල රාත්‍රියක් යැයි පැවසීමෙහි වරදක් නොමැත.

වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් පවතින අතරම දැඩි

නිහඬතාවයක ගිලුණ අඳුරු පරිසයේ නිසංසල බව බල්ලෙකුගේ

බිරුම් හඬකින්, බස්සෙකුගේ හෝ වවුලෙකුගේ හඬකින් බිඳී ගියේය.

අඳුර උදා වූ මොහොතේ සිටම ගමේ නිවසක බල්ලෙකු උඩු බුරමින්

අඳෝනා දෙන්නේ මන්දැයි කිසිවෙකුටත් හරියාකාරව කිව නොහැක.

ගම්වැසියන්ගේ මතය නම් එය විපතක පෙරනිමිත්තක් බවයි.

විමල් හා සුගත් එදින නාත්තන්ඩිය සමර සිනමා ශාලාව වෙත

පැමිණියේ රාත්‍රී නවයයි තිහ චිත්‍රපට දර්ශනය නැරඹීම සඳහාය.

චිත්‍රපට දර්ශනය අවසන්ව නාත්තන්ඩිය ලෑලි පාලමෙන් එගොඩ වී

වලහපිටිය පාරේ බස් නවතන ස්ථානය දෙසට දෙදෙනාම පිය නැගූහ.

කරත්ත, පා පැදිවලින් හා පා ගමනින් පැමිණ සිටි නරඹනෝ

කඩිනමින් තම නිවෙස් කරා යන්නට උනන්දු වූහ. වාහනයකින්

චිත්‍රපට බැලීමට මිනිසුන් පැමිණියේ කලාතුරකිනි. නාත්තන්ඩියේ සිට

මහවැව දක්වා ගමන් කරන රාත්‍රී දොළහේ අවසන් බස් රථය එනතුරු

විමල් හා සුගත් පෙර මග බලමින් බස් නැවතුමේ සිටියහ.

මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් නවතන ස්ථානයේ සවි කර තිබූ

බස් නැවතුම් බෝඩ් කණුවේ යකඩ පොල්ලට හේත්තු වූ විමල් “අද

බස් එක නැතිවෙයිද?” සුගත් දෙස බලා සිත් දෙගිඩියාවෙන් යුතුව

විමසීය.

“නෑ, ධනපාල අයියා, කොහොමත් ගෙදර යන්නේ

වෙලාවටනේ.” සුගත්ගේ පිළිතුර විය.

බස් රථයේ රියදුරු ධනපාල රාත්‍රී අවසන් ගමන් වාරය මහවැව

වූ තම නිවස වෙතම ගෙන යන බව බසයේ නිතර ගමන් ගත්තා

මගීහු දනිති. ඒ වන විට නගරයේ සිට වලහපිටිය පාරට හරවන බස්

රථයේ මලානික පහන් එළිය දෙදෙනාගේ නෙත ගැටුණි. මෝටර්

බෝට්ටුවක් වැනි හඬ දෙන ඇන්ජිමක් සහිත පැරණි බස් රථය

‘කරාස්’ යන හඬින් ඒ වෙත අත පෑ තරුණයින් දෙදෙනා අසල

නැවතුණි.

සැතපුමක පමණ දුර ගෙවා පුංචි පාලම හන්දියේ දී නැවත

බසයේ තිරිංග තද කරන විට වේලාව දොළහ පසු වී සුළු වේලාවකි.

කඩිමුඩියේ බසයෙන් බැස ගත් සුගත් හා විමල් නිවෙස් බලා යාමට

ඇළ මාර්ගයකට උඩින් තනා තිබූ පුංචි ලෑලි පාලම මතින් ඇරඹෙන

ගුරු පාරට පිවිසුණි.

මෙතැන් සිට දෙදෙනාට තම නිවෙස් කරා යාමට ගුරු පාර

දිගේ සැතපුම් එක හමාරක් පමණ මඟ ගෙවීමට ඇත. ලඳු කැලෑ

පඳුරුවලින් ගහන ගුරු පාර දෙපස නිවාස පිහිටා තිබෙන්නේ කීපයක්

පමණි. ගම්මානයට විදුලි බලය ලැබී නොමැති හෙයින් අඳුර උදා

හෝරා කීපයක් යෑමට පෙර කුප්පි ලාම්පු නිවා දමා නින්දට යාම

ගම් වැසියන්ගේ සිරිත වී තිබුණි.

‘සමර’ සිනමා ශාලාවේ දී නැරඹූ ‘සත පනහ‍ේ චිත්‍රපටයේ

ගාමිණි ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රමගේ රගපෑම් ද ජෝතිපාල

ගේ ගීත ගැන ද කතා බහ කරමින් දෙදෙනා අඳුරේම ඉදිරියට

ඇදුණහ. පැය කීපයක් තිස්සේ පවතින හිරිපොද වැස්ස කිසිදු අඩු

හෝ වැඩි වීමකින් තොරව එලෙසම පැවතුණි. බොහෝ වේලාවක

සිට උඩු බුරන මූසල බල්ලාගේ හඬ සවනත වැකෙත්ම දෙදෙනාගේ

සිත්වල යම් කිසි චකිතයක් ඇති විය.

“කාලකණ්ණි බල්ලෙක්…..” විමල් නිහඬව ගමන් කරන සුගත්

දෙස බලා පැවසීය.

“නරි රැළකුත් හූ කියනවා ඇහෙනවා.” සුගන්ගේ පහත් ස්වරය

බියපත් බවක් ඉසිලිය.

2 කොටසින් හමුවෙමු..

උපුටාගැනීමකී…

සම්පූර්න කතාවේ අයිතිය නිහාල් කුමර මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *