පළිගත් භූත ආත්මය – 2 කොටස

59
0

පළිගත් භුත ආත්මය 2 කොටස

” උන් ඉතින්

කොහොමත් රෑට හූ කියනවානේ.” විමල් සිත

සැහැල්ලු කර ගැනීමේ උත්සාහයක යෙදුණි.

“පොද වැස්ස උනාට ගෙදරට යනකොට සෑහෙන්න තෙමෙයි.

වැහි අඳුර හින්ද හඳ එළියත් නැහැ. සුගත් ටිකක් සෝදිසියෙන් යන්න.

ගිය සතියේ මිනිහෙක්ව මේ හරියේදී පොළගෙක් කාලා තිබුණා.”

විමල්ගේ වදන් තම සවනත වැකුණ ද සුගන්ගේ සිත බියපත්

සිතුවිලිවලින් පිරි තිබූ බැවින් පිළිතුරු වදන් කිසිවක් නොකියා

නිහඬව ගමන් කළේය. සැතපුමකට ආසන්න දුරක් ඇවිද ආ ඔවුනට

තව සුළු දුරකින් හමුවන සොහොන් පිටිය සිහි විය. නිවෙස් බලා

යන ගුරු පාර වැටී තිබුණේ ද සොහොන් පිටිය අසලින්මය.

යකුන්,

හොල්මන්, අවතාර කතා ගමේ ළමුන් මෙන්ම වැඩිහිටියන් ද බියපත්

කරවන පුවත් වුව ද ගමේ ඉපදී ගමේම හැදී වැඩුණ මොවුනට මේ

සොහොන් පිටියෙන් සිදු වූ කිසියම් උපද්‍රවයක් ගැන කිසි දිනෙක

අසන්නට ලැබී නැත. එහෙත් සාමකාමී මෙන්ම අහිංසක ගම් වැසියන්

පිරිසක් විසූ මරද ගම්මානය පසුගිය දිනක සිදු වූ බිහිසුණු ශෝකජනක

සිදුවීමකින් සසල වී ගියේය.

ඒ ගම්වාසී අහිංසක තරුණියක් සොහොන් බිම අසල ලඳු

කැලෑවක් තුළ අමානුෂික අන්දමින් මරා දමා තිබීමය.

ඇගේ හිසට

වැදුණු තදබල පොලු පහරක් නිසා හිස තුවාල වී අධික ලෙස ලේ

වහනය වීමෙන් මරණය සිදු වී තිබුණි. මේ ඝාතනය කුමක් අරබයා

සිදු කළේ ද, කවුරුන් විසින් සිදු කළේ ද යන්න නිවැරදිව සොයා

ගැනීමට පොලිසියට හෝ ගම් වැසියනට නොහැකි විය. මෙකල

ගමේ බලවතෙකු මෙන්ම ධනවතෙකු වූ පොඩි රාලහාමි පොලිසිය

සමග එකතු වී මේ මිනීමැරුමේ අපරාධකරුවන් සොයා ගැනීමට

මහත් සේ උත්සාහ කළේය.

මිය ගිය නන්දාවතී නම් තරුණිය මරද ගම්මානයේ කෙළවර

හෙවත් බටහිර වලහපිටිය ගමට ආසන්නව පදිංචිව සිටි තැනැත්තියකි.

පියා මිය ගොස් සිටි අතර ඇගේ මව වන බබා නෝනා සමඟ ඈ

අහිංසක දිවි පෙවෙතක් ගෙවමින් කල් ගත කළාය. හරිහැටි මුදල්

ලැබීමට ආදායම් මාර්ගයක් නොවුව ද අඳයට දී තිබූ කුඹුරෙන් ලබන

වීවලින් බත සපයා ගෙන වත්තේ වගා කළ එළවළු හා පලා, කොස්,

දෙල් ආදිය සකස් කරගෙන කුසට අහර හිඟයක් නොමැතිව මොවුහු

ජීවිකාව ගෙන ගියහ.

නගරයේ මුස්ලිම් ජාතිකයකුට අයත් රෙදි වෙළඳසැලක මාස කීපයකට පෙර සිට ඇය සේවය සඳහා ගියේ

මුදල් අවශ්‍ය නිසාම නොව නිවසට කොටු වී සිටීමට ඇති අකමැත්ත

නිසාමය. සේවය නිම වී බොහෝ දිනවල ඇය අඳුර වැටෙන්නට ප්‍රථම

තම නිවස වෙත එන්නීය. උත්සව සමය බැවින් ඒ අවාසනාවන්ත

දිනයේ සේවය නිම කිරිමට ඇයට රාත්‍රී හත පමණ විය.

පුංචි පාලම හන්දියේ දී රාත්‍රී බස් රථයෙන් බැස ගත් ඈ

තනිවම ගමන් ඇරඹුවේ බිය, සැකයකින් තොරවය. සොරුන් හෝ

ස්ත්‍රී දූෂකයින් ගැන අසන්නටවත් නොමැති පුංචි පාලම හා මරද

ගම්මානයේ ඇයට බිය වීමට තරම් හේතුවන කරුණක් නොවීය.

එහෙත් වෙනත් දිනවල පාරේ ගමන් කරන ගම්වැසියකු දෙන්නෙකු

ගමනට සම්බන්ධ කරගත හැකි වුව ද අද කිසිවෙකු පාරේ දකින්නට

නොලැබුණේ ඇගේ දෛවයේ කුරිරු බලපෑමක් නිසා විය හැක.

සොහොන් පිටිය අසලට එත්ම ‘හොල්මන්’ පිළිබඳ කාගෙත් සිත්වලට

ජනිත වන ගුප්ත සිතුවිල්ල ඇගේ සිත තුළ ද කැකෑරෙන්නට වූයේ

නිතැතින්මය.

එහෙත් ඒ වන විට අඳුරෙන් වැසුණු සොහොන් පිටියේ

කැලෑ පඳුරු අතරේ යක්ෂයින් දෙදෙනෙකු ඇය බිලි ගැනීමට රැක

සිටින බව සිහිනයකින්වත් ඈ නොසිතුවාය. මේ යක්ෂයින් යක්ෂ

ආත්මවලින් නෙබි මනුෂ්‍යයින්ය. පසුපසින් කිසිවකු එන හඬක්

ඇසී පිටුපස බැලීමට සූදානම් වෙත්ම නොසිතූ විරූ ලෙස ඇගේ

හිස වෙත වැදුණු දරුණු පොලු පහරින් නන්දාවතීගේ මුවින් පිට

වූයේ කෙඳිරියක් පමණි.

ඒ මොහොතේම ලේ ගලන ඇගේ සිරුර

සොහොන් පිටිය අසල පඳුරු අතරට ඇද දමා මිනීමරුවන් දෙදෙනා

අඳුරේම පලා ගියහ.

තම මහලු මව සමග ජිවත් වූ නන්දාවතීට අක්කර දෙකක

කුඹුරක් හා අක්කර පහක පමණ ගොඩ ඉඩම් සතුව තිබුණි. මේ

වන විට ඇය විවාහ වීමට දින නියම කරගෙන සිටි අතර විවාහයට

මාසයකට පමණ පෙර ඇය මෙම දුක්ඛිත මරණයට ගොදුරු වුණි.

පිය උරුමයෙන් ඈ සතු වූ ඉඩමට මායිම්ව තිබූ ඉඩමක පදිංචිව සිටි

අයිය මලෝ දෙදෙනෙක් වූහ. නමින් අප්පුහාමි හා අන්තෝනි වූ

මොවුන් දෙදෙනා විවාහකයින්ය.

හැසිරිමෙන් මෙන්ම අදහස්වලින් ද දුෂ්ටයින් වූ මොවුහු

වරින් වර නන්දාවතීගේ ඉඩමේ කොටස් බලෙන් අල්ලා ගැනීම සඳහා තම මායිම් වැටවල් වෙනස් කළහ. මේ හේතුවෙන් නන්දාවතී

මොවුන් සතුරන් සේ සැලකුවාය.

නන්දාවතීගේ මහලු මව වරින් වර

මේ පෝරිසාදයින් දෙදෙනා සමග බහින් බස් වූවාය. නන්දාවතීට

විවාහයක් කර දීමට බබා නෝනා ඉක්මන් කළේ මේ නිසාමය.

පිරිමියෙකු ගෙදර සිටී නම් දේපොළ ආරක්ෂා කිරීමට හැකි බව ඇය

නිතරම පැවසුවාය.

නන්දාවතීගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන්

අන්තෝනි හා අප්පුහාමි ගැන සැකයක් මතු වී ගමේ කට කතා

පැතිරුණි. මෙම තොරතුරු මත මාරවිල පොලිසියේ සේවයේ

යෙදී සිටි සාජන්වරයෙකු වන බණ්ඩාර මහතා මොවුන් දෙදෙනා

පොලිසියට රැගෙන විත් පහර කීපයක් ගැසූව ද කිසිදු තොරතුරක්

ලබා ගත නොහැකි විය.

මොවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා තම

දරුවන් ද කැටිව මාරවිල පොලිසියට විත් තම සැමියන් නිදොස් බව

කියා පාමින් හඬා වැලපෙන්නට ගත් බැවින් පොලිසිය උසාවියට

මොවුන්ව ඉදිරිපත් නොකර නිදහස් කර යැවීය.

තම එකම ගැහැනු දරුවාගේ අකල් මරණයෙන් කම්පාවට පත්

බබා නෝනා නොකා නොබී සුසුම් හෙළමින් මිනීමරුවන්ට ශාප

කරමින් කල් ගෙව්වාය.

“මගේ අහිංසක කෙල්ලට මේ විපත්තිය කරපු එවුන්ට හෙණ

හතම වදින්න ඕනා. දෙවියනේ, ඔබ වහන්සේලා මේ පොළොව

නුහුලන අපරාධය දැක දැක නිහඬව ඉන්නවද?” බබා නෝනා හිස්

අහස දෙස බලමින් දෙඅතින් තම පපුවට නිතර ගසා ගත්තාය.

අසල්වැසියන් ඇය සනසන්නට නිතරම උත්සාහ කළ ද එයින්

පලක් නොවීය.

ආහාර නොමැති වීමත් දරාගත නොහැකි වියෝ

දුකින් ඇති වූ අධික මානසික පීඩනයත් නිසා ඈ මෙලෙසින් ජීවත්

වූයේ සති දෙකකට නොඅඩු කාලයකි.

බබා නෝනාගේ දේහය ගම්වැසියන්ගේ මැදිහත් වීමෙන්

නන්දාවතීගේ මිනීවල අසලින්ම මිහිදන් කෙරුණි. අන්තෝනි හා

අප්පුහාමි දුක්බරිත මුහුණින් යුතුව ඇගේ ආදාහන කටයුතුවලට

සහය දුන්හ.

මොවුන්ගේ කටයුතු ඇතැමුන්ගේ පිළිකුලට භාජනය

වුව ද කිසිවෙක් ඔවුනට එරෙහිව යමක් කීමට ඉදිරිපත් නොවූහ.

බබා නෝනාගේ මරණයෙන් පසු ඇගේ ඉඩකඩම්වලට හිමිකම් කීමට කිසිවෙක්

අතර දුර සිටි නෑයන්

නොමැති විය.

මරද ගමේ ඇගේ නෑයකු නොසිටි

හෝ සහෝදරයින් කවුද යන්න ගම් වැසියන්

කිසිවෙකු හෝ දෑන සිටියේ නැත.

මේ අතරතුර තම ඉඩම්වල මායිම් වෙනස් කරමින් අප්පුහාමි

හා අන්තෝනි බබා නෝනාගේ ඉඩම් අල්ලා ගැනීමට ඉක්මන්

පියවර ගත්හ.

ගමේ රාලහාමි (ග්‍රාම නිලධාරි මහතා) ගම්වැසියන්ගේ

ඉල්ලීම මත අප්පුහාමි හා අන්තෝනි හමු වී අවවාද කර මේ ඉඩම්

කොල්ලය තරමක් දුරට පාලනය කළේය. පොඩි රාලහාමි මඟ තොටදී

අන්තෝනි හමු වූ දිනක තදින් අවවාද කළේය.

“අන්තෝනි, මම උඹව මුණ ගැහෙනකම් හිටියේ ගොයියෝ…!

අසාධාරණ වැඩ එපා. අර අහිංසකයෝ මැරිලා තුන් මාසේ දානෙවත්

දෙන්ට උන්නෑ. උඹ උන්ගේ දේපොළ කොල්ල කන්ට පටන් ගත්තා.

නවත්තනව හොඳයි ඒ වැඩේ. මට නරක මිනිහා කියන්ට එපා. උඹට

තේරුණාද?”

ගමේ කිසිවකු පොඩි රාලහාමිට ඉහළින් කතා නොකරන අතර

අයුක්තියට නයෙකු මෙන් කෝප වන පොඩි රාලහාමිගේ තරම

දන්නා අන්තෝනි, ඉඩම් මායිම් කලින් තිබූ ලෙසට නැවත වෙනස්

කිරිමට කටයුතු කළේය.

නන්දාවතීගේ මරණය සිදු වී මේ වන විට මාස දෙකක පමණ

කාලයක් ගත වී ඇති අතර ඇගේ අවතාරය සොහොන් පිටිය අසල

සැරිසරන බව පසු ගිය දිනක ගමේ කසු කුසුවක් ඇති විය. ඇතැමුන්

අවතාරය දුටු බවට කටකතා පැතිර වුව ද තරුණ පිරිස් එය සුළු

කොට එය කට කතාවක් පමණක් යැයි පැවසුහ.

විමල් හා සුගත් අවතාර, හොල්මන් කතා ගැන එතරම්

පැහැදීමක් හෝ විශ්වාසයක් නැති තුරුණු වියේ දෙදෙනෙකි.

“විමල්, මැරුණු නන්දාවතීගේ අවතාරය ඉන්නවයි කියන

කතාව උඹ විශ්වාස කරනවද?” සොහාන් පිටිය පෙනෙන මානයේදී

සුගත් විමසීය.

“මොන බොරු කතාද බං. අපේ වයසක සීයලා හැන්දෑවට

මෙතනින් යන්නේ රා බීලා වෙරි වෙලා ඉතින් ගෙදර ගිහින් විකාර

කියවනවා.”

3 කොටසින් හමුවෙමු..

උපුටාගැනීමකී…

සම්පූර්න කතාවේ අයිතිය නිහාල් කුමර මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *