“චූටි…”
කොහේ නිදා ගැනිල්ලක්ද ඉතින්…අම්මා කතා කරපු නිසා ඇඳෙන් බැහැලා දිව්වා කුස්සියට
“ඇයි අම්මා”
“අද පුංචිලාගේ ගෙදර ගිහින් එමුද”
“අද”
“රෑ වෙලා යන්නේ මොකේද අනේ…අපි දෙන්නා විතරයිනේ අනික”
“බස් එකේ යන්න බැරියැ”
“හෙට යන්කෝ…මහන්සිත් එක්ක අද දවසම ක්ල්ස්”
ඔන්න ඉතින් අම්මාගෙ මූණ හරි නෑ…දැන් වෙන්නේ මොකක්ද කියන්න දන්න නිසාම මං ශේප් එකේ කාමරේට පැනගත්තා
මට ඇහෙනවා ඉතින් අම්මා කුස්සියේ ඉඳන් මට බනිනවා…ගියා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා දැන්
‘කොහෙහරි නටවන්න යන්න තිබ්බා නම් මොනවා තිබ්බත් යයි’ ගගා අපේ මව්තුමිය මට බනිනවා
ඇත්ත වශයෙන් ම කිව්වොත් මං එහෙ යන්න වැඩිය ආසා නෑ…එහෙ ඉන්නේ මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක්
Eww eww
මතක් වෙද්දිත් හොම්බට ඇනලා එන්න හිතෙනවා
මං කාමරේ ඉන්න නිසා අම්මා බනින එක වැඩිය ඇහෙන්නේ නෑ…කොට්ටෙන් කන් දෙකත් වහගෙනම මං නිදාගත්තා
පැය 2ක් විතර නිදාගෙන ඉඳලා නැගිටිද්දි රසබර කෑමක සුවඳක් ආපු නිසා කෙලින්ම කුස්සියට දිව්වා
අම්මා වැලිතලප හදලා
ඒ කියන්නේ හෙට ගමන ෂුවර්
ශේප් එකේ ළඟට ගිහින්,
“අම්මේ මාත් කෑල්ලක් ගන්නද”
“ඔය අයින්වල තියන කැඩිච්ච කෑල්ලක් ගන්න”
මං දන්නවා ඉතින් අදත් ඕකම කියනවා කියලා…කොහෙහරි අරන් යන්න කෑමක් හැදුවොත් අපිට කැඩිච්ච ඇදවෙච්ච කෑලි තමා
මොනවා කරන්න ද ඉතින් කැඩිච්ච ඇදවෙච්ච කෑලි දෙක තුනක්ම අරන් තමා මං එතනින් එහාට වුනේ
“හෙට උදේම යන්න ඕනෙ නෑනේ අම්මා”
“උදේම ගිහාම ලේසියි..හයේ බස් එකේ යන්”
යසයි…
හෙටවත් ටිකක් නිදාගන්න හිටියා මදෑ…නිදාගන්න එකත් කල් දාන්න වෙලා තියන්නේ මට
…………………………………………………………………………………..
ඉතින් උදේ 4.30 ඉඳන් අපේ අම්මා මාව ඇහැරවන්නේ
“චූටි නැගිටින්න…හයටත් කිට්ටුයි වෙලාව”
ඉතින් මං දඩබඩගාලා නැගිට්ටා
නැගිටලා ඇඳනුත් බැහැලා මේසේ උඩ් තිබ්බ ෆෝන් එකෙන් වෙලාව බැලුවා
04.40 am
අපේ අම්මා නම් ඔහොමමයි
මොනවා කරන්න ද ඉතින් ඇඳෙන් බැහැලත් ඉවරයිනෙ…ආයේ නිදාගත්තොත් එහෙම අම්මා මාව ලෙෆ්ට් කරයි 🥲
ඔක්කොම ලෑස්ති කරගෙන හය වෙද්දි පාරට දිව්වා
තව ටිකෙන් බස් එකත් මිස් වෙන්නවා
පැයකට විතර පස්සේ පුංචිලාගේ ගෙදරට යාගන්න පුළුවන් වුනා
මං නම් ගෙදර ඉඳන්ම හිත හිතා ආවේ අර මල හෝන්තුව ගෙදර ඉන්න එපා කියලා
වැඩක් නෑ ගේට් එක ඇරන් ඇතුලට යද්දිම දැක්කේ ඒ හෝන්තුවව
අද දවස ගත කරන හැටි මැවිලා පේනවා මට නම්
අපිව දැකපු ගමන්,
“අම්මේ”
ගාගෙන ගෙට දිව්වා…පුංචිවත් එක්කන් ආවා ගිහිල්ලා
“එනවා කිව්වට මං හිතුවේ නෑ අක්කලා මෙච්චර උදෙන් එයි කියලා”
“උදේම ආවහම ලේසියිනේ”
“අක්කලා කාලා නෙවෙයිනේ ආවේ”
“උයන්බ වෙලාවක් තිබ්බේ නෑ…මෙයාව නැගිට්ටවගත්තෙත් බොහොම අමාරුවෙන්”
අනේ දෙයියනේ අපේ අම්මා කියන බොරු
හතරටි ගානකට නේද දෙයියනේ මාව ඇහැරුවේ
මුකුත් කියන්න ගියේ නෑ ඉතින්…නිකන් බොරුවට බැනුම් අහන්න ඕනෙ නෑනේ පෙන්ස්
“ඒකට මොකද…කාලා ඉමු එහෙනම් බඩගිනිත් ඇතිනේ දැන්”
අම්මායි මායි දෙන්නාම පුංචිගේ පස්සෙන් කුස්සියට ඇදුනා
අර උරචක්කරමාලේ නම් කාමරේ අස්සට රිංගගත්තා
වෙලාවට කාමරේට ගියේ…මට නම් පේන්න බෑ
කාලා ඉවර වෙලා සාලෙට ගිහින් අම්මාත් එක්කම වාඩි වුනා
ටික වෙලාවක් යද්දි අපේ අම්මා මාව එතනින් පන්නගත්තේ හරියට නිකන් එයාලා වැඩිහිටියන්ට පමණයි කතා කියවනවා වගේ
මං ගියා අර උරචක්කරමාලේගේ කාමරේට
එයා ඇඳට වෙලා ෆෝන් එක කොටනවා
දොර පැත්තට හැරිලා වාඩිවෙලා හිටපු නිසා මං එනවා දැක්කා
“එන්න අක්කේ…බෝරින්ග් අනේ”
හිනාවක් දාන් මාත් ගිහින් ඇඳන්ම වාඩිවුනා
“ඉස්කෝලේ ගියේ නැද්ද අද”
මං ඉස්කෝලෙ ගිහින් මගේ හොල්මන මේ උඹේ ඉස්සරහ ඉන්නේ කියන්නමයි හිතෙන්නේ
“නෑ”
කියලා නිකන් හිටියා
“ඔව් අනේ මාත් ආසා නෑ වැඩිය ඉස්කෝලෙ යන්න…එපා වෙනවා”
මොකට කියනවද…ඉස්කෝලෙ ගිහින් කරන හොඳ වැඩ වැඩි නිසා වෙන්නැති කීපසැරයක්ම පුංචිව ඉස්කෝලෙට ගෙන්නලා තිබ්බේ
ඕවා කියන්න ගියේ නෑ මං…හිතුවා විතරයි
මෙයාගෙන් අහන්න දේකුත් නෑ…මෙයා එක්ක කතා කරන්න දේකුත් නෑ
අම්මා ගාවට යන්නත් බෑ එලවගත්තානේ මාව එතනින්
පොත් මේසේ ළඟට ගිහින් පොතක් අතට ගත්තා
ලස්සනට කවරයක් දාලා තියෙද්දි මං හිතුවේ ඇතුලෙත් ලස්සනට ඇති කියලා…මොකට හිතුවද මන්දා එහෙම
පිටු දෙකක් තුනක් වගේ ලියලා තිබ්බේ මුලින් පොලිටිකල් වෙන්න ඇති මං හිතන්නේ…ඊට පස්සේ මැදිනුත් පිටු දෙකක් තුනක් සිංහල ද කොහෙද ලියලා අන්තිම පිටුවේ බලි රූප ඇඳලා වගේ
“එකම පොතේ ස්බ්ජෙක්ට් කීයක් ලියනවද”
“නෑ අනේ පොත අරන් යන්න බැරි වෙලා ඔහොම ලිව්වේ”
නෑ ඉතින් මාත් පොතක් අරන් යන්න බැරි වුනාම මෙහෙම ලියනවා…හැබැයි ඊතින් මෙච්චරම විකාර විදිහට ලියන්නේ නෑ
“මේ අක්කේ සතීෂ් අයියා ආවේ නැද්ද “
“ආවා”
“අපරාදේ මට එන්න බැරි වුණානෙ…ගිය සතියෙම මං ගෙදර හිටියෙත්…ඊළඟ පාර අයියා ගෙදර ආවහම මටත් කියන්න හරිද”
ඕවා මෙයාට කියලා මෙයා අපේ ගෙදරට පාත් වුනහම අපේ අයියා මාව එලවයි ගෙදරින්…ගිය සතියේ ආවා නම් එහෙම බස් මෑන් අයියාත් හිටියානේ…එහෙනම් ඒ යකාවත් ක්‍රෂ් එකක් කරගන්න මේ හොල්මන
දවල්ටත් කාලා එහෙම ඉවර වෙලා තමා අම්මායි මායි ගෙදර ආවේ…ගෙදර එද්දි හතරටත් කිට්ටුයි
ආපු ගමන් නාලා එහෙම ඇවිත් ටීවි එක දාගත්තා
මේ කාටුන් බලන වේලාවයි
“ඕන් ඉතින් දාගත්තා අදත්…තව මාස හතරක්වත් නෑ නේද විභාගෙට…අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ මේ ළමයා මොනවා කරගනීද කියලා”
“හරි හරි අනේ මේක විතරයිනේ බලන්නේ”
අම්මා මටත් බැන බැනම ගේ අතුගාලා නාන්න ගියා
ඇත්තටම එක කාටුන් එකයි මං බලන්නේ…අයියාවත් අපේ අම්මා ඇවිස්සුවා මං කාටුන් බලනවලු කියලා…එකක් බලන්න අවසර හම්බුන නිසා ඒක නොවරදවාම බලනවා මම
ඒකත් බලලා කාමරේට ගියේ පාඩම් කරන්න හිතාගෙන
පොත ගත්තහම නිදිමතයි…පොතත් අරන් ඇඳට ගියා
උපරිම විනාඩි 15ක් ඉන්න ඇති මට නින්ද ගියා
ආයේ ඇහැරුනේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට
“හෙලෝ”
“හෙලෝ චූටි අම්මා කෝ”
“අම්මා ඉන්නවා”
“අම්මාට ෆෝන් එක දෙනවකෝ”
“අම්මාගේ එකට ගන්න…මං නිදි”
“ගිහින් ඕක දෙනවා අම්මාට”
“හරි හරි ඔච්චර කෑගහන්න ඕනෙ නෑනෙ”
අම්මාව හොයන් ගිහින් දුන්නා ෆෝන් එක
“අම්මේ අම්මේ කොහෙද ඉන්නේ අනේ”
“මොකද කෑගහන්නේ…මං මේ එළියේ”
“ආ”
“කවුද”
“අයියා”
කතා කරගන්න එකක් කතා කරගන්න දීලා මං ආවා ගේ ඇතුළට
විනාඩි දහයකින් විතර තමා කෝල් එක ඉවර වෙලා අම්මා ආවේ
අයියා කිව්වේ මොනවද කියලා අහන්නමයි හිතෙන්නේ
“අම්මේ අයියා මොකද කිව්වේ”
“ඈ හෙට ගෙදර එනවලු කිව්වේ”
“හෙට ඒ මොකටද තාම ගියා විතරනේ”
“යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලාලු…ගෙදර ඇවිල්ලා යනවා කිව්වේ”
“තනියමද එනවා”
“තව කට්ටිය යනවලු…එයාලා ගෙදර එන එක ෂුවර් නෑලු”
…………………………………………………………………………………..
ඊළඟ දවසේ උදේ පාන්දරම අයියා ගෙදර ආවා…තනියම එනවා කිව්වට මොකද තවත් නසරානියෙක්ව එක්කන් ඇවිල්ලා
අපරාදේ අර බස් මෑන් අයියා ආවා නම් මීට වඩා හොඳයි
“හායි නංගා”
මට නම් මූව පේන්න බෑ…හේතුවක් නම් නෑ…හැබැයි පේන්න බෑ මට මූව
“තරිඳු උඹ වොෂ් එකක් දාන් වරෙන්”
“හා”
මෑන්ස් වොෂ් එකක් දාන්න් ගියාට පස්සේ මං ගියා අයියා මෑන්ස් ගාවට
“මේ අයියා අහනවකෝ හලෝ”
අයියා ඇහිබැමකුත් උස්සන් මගේ දිහා බලන් ඉන්නේ මොකක්ද කියලා අහන්න වගේ
“ඊයේ අම්මායි මායි පුංචිලාගේ දිහා ගියානේ”
“ඉතින්”
“අර ඔයාගේ අරයා ඇහුවා තමුසේ ගෙදර ආවේ නැද්ද කියලා…මං කිව්වා ඇවිත් ගියා කියලා…අපරාදේ මටත් එන්න තිබ්බා අනේ…ඊළඟ පාර අයියා ගෙදර ආවහම මටත් කියන්න කිව්වා හලෝ”
“අපෝ මේ ඔය වාත බෝට්ටුව නම් ගෙන්නගන්න එපා චූටි”
“මට කන්න මොනාහරි ගෙනත් දුන්නා නම් සලකා බලන්න තිබ්බා…වැඩක් නෑ ඔයා මුකුත් ගෙනත් නෑ”
එතකොටම එතන්ට ආවේ අර නාන්න ගියපු මෑන්ස්
“චොක්ලට් එකක් ගෙනත් දෙන්නද නංගී”
මෝඩ තරිඳු
මං ආවා කාමරේට
කාමරේට ගිහින් මැසේජ් එකක් දැම්මා මෙතූට
ඔන්ලයින් නැති නිසා කෝල් එකක් ගත්තා
“හෙලෝ”
“මොකද බන්”
“මේ ඉස්කෝලෙ යන්ද”
“අඩේ මාත් අහන්න හිටියේ යමන්”
“මේ අහපන්කෝ”
“මං උඹට පස්සේ ගන්නම් ආ”
ෂුවර් එකටම අර ෂෙහාන් ගොනා කෝල් එකක් ගන්න ඇති
මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේදෝ සංසාරේ 🥲💔
…………………………………………………………………………………..
රෑ වෙලා අයියා අර මෝඩ තරිඳුත් එක්කම බයික් එකේම මළගෙදර ගියා
බස් එකේ පලයන් කියලා අම්මා කිව්වට අපේ හරක් පැටියාට බයික් එකේ ම යන්න ඕනි වුනා…ඒකටම හරියන්න අර මෝඩ තරිඳු
අම්මා නිදාගන්නකල්ම අයියට බනිනවා
අයියා ගෙදර නැතත් මං ඉනවනේ ඉතින් මං ඒවා අහන් හිටියා 🥲
ගිහින් කෝල් එකක් දෙන්න කිව්වට කෝල් එකක් දුන්නේ නැති එකට අම්මාට තවත් මල පැනලා
අපි ගත්තාට ආන්සර් කරන්නෙත් නෑ මේ බූරු පැටියා
අන්තිමට රෑ එකොළහට විතර තමා මෑන්ස්ට ක එක ගන්න හිතක් පහලවෙලා තියන්නේ
අම්මාගෙන් හොඳවයින් අහගත්තා ඉතින්
අද රෑ එන්න වෙන්නේ නෑ හෙටම එන්නෙම්ලු කියලා තමා කෝල් එක ඉවර වුනේ
“අම්මේ මාව හෙට කලින් ඇහැරවන්න හරිද…හෙට ඉස්කෝලෙ යන්න ඕනෙ”
“මොකද මේ ඉස්කෝලෙ මතක් වෙලා”
“මොකක්ද අප්පා 😒 ඇහැරවන්න ඈ”
“එක පාරයි කතාකරන්නේ චූටි නැගිටින්න”
“5.30ට ඇහැරුවා නම් ඇති”
…………………………………………………………………………………..
අම්මාගේ ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හෙමීට නිසා 4.50ට මාව ඇහැරුවා අදත්
අම්මා ඇහැරුවාට මං ඇහැරුනේ තව පැයකට විතර පස්සේ
හයේ බස් එකට යන්න බැරි වුණා
ලෑස්තිවෙලා පාරට යද්දි 6.45යි වෙලාව
බස් එකට නගිද්දි වාඩි වෙන්න පුළුවන් වුනා හැබැයි
උදේ පාන්දර වුනාට මොකද මේ සමහර පොඩි එවුන්ට ජනේල් ඇරන් යන්න ඕනෙ නිසා හරියට නිකන් A/C කරලා වගේ ෆීලින් එකක් දැනෙන්නේ….සමහර දවසට නම් වෙවුලනවත් එක්ක
ජනේලෙට ඔලුව තියන් බස් එකේ දාලා තිබුන සින්දුවකුත් අහන් මනෝ ලෝකේ පාවි පාවි හිටියා
එක පාරටම ඔලුවට මොකෙක්දෝ ගැහුවා වගේ මට නම් දැනුනේ…උඩ රැක් එකේ දාලා තිබ්බ බෑග් එකක් මගේ ඔලුව උඩටම වැටුනා
ඒ එකෙක් අහනවා අවුලක් නෑ නේද කියලා
“අවුලක් නෑ”
කියලා ඒ බෑග් එක ඌටම දුන්නා…උගේද කොහෙද බෑග් එක
“සොරි අනේ”
හිනාවෙලා ජනේලෙන් එළිය බලාගත්තා
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ
මගේ මනෝපාරත් කෑවා
සැක් ඔක්කොම දකින්න ඇති…පුදුම මිනිස්සු තමා මුන් නම්
………………………………………………………………………………….
බස් එකෙන් බැහැලා ඉස්කෝලෙට යද්දි බෙල් එකත් ගහලා
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕