“දකින හැමදේම විශ්වාස කරන්න යන්න එපා,සමහර වෙලාවට ලුණුත් සීනි වගේ”
වෙනදා වගේම අදත් මං කියපු සේරම දේවල් අහන් ඉඳලා අන්තිමට දීපු උත්තරේ ඒක වුනා…ඒක ඇහෙන හැම වෙලාවකම වගේ මේ වෙලාවෙත් මගේ හිතට ආවේ පණ්ඩිත කතා නම් කියන්න දන්නවා කියලා
චූටි දෙයක් අල්ලන් හැමදාම කොක්ක වගේ එල්ලෙන්න යද්දි අන්තිමට මෙයාගේ මේ දාර්ශනික කතාව නම් දැන් මටත් කටපාඩම්
“ඔයා ලුණු කාලා තියනවද”
මූණත් අමුතු කරන් මගේ දිහා බලන් ඉන්නවා දකිද්දි නම් හිතුනා මොකක්ද ඒ අහපු ගොන් ප්‍රශ්නෙ කියලා…කමක් නෑ අහලා ඉවරයිනේ දැන්…ලැජ්ජාව වහගන්න වගේ ආයෙම මං කට ඇරියා
“මොකද ඔහොම බලන්නේ…මං වැරදි දෙයක් ඇහුවෙ නෑනෙ ඉතින්”
“නෑ වැරැද්දක් නෑ…මං ලුණුත් කාලා තියනවා සීනිත් කාලා තියනවා”
ඊළඟට අහන්න ගියපු මෝඩ ප්‍රශ්නෙටත් එයාගෙන් කලින්ම උත්තරයක් හම්බුනා
“එහෙනම් ඉතින් කොහොමද ලුණුත් සීනි වගේ වෙන්නේ”
මෙච්චර දවසක් ඔය කතාව කොච්චර කිව්වත් මං හරස් ප්‍රශ්න අහන්න ගියේ නැති වුනාට අද නම් මට අහන්නම හිතුනා
ටික වෙලාවක් මගේ මූණ දිහා බලන් ඉඳලා,
“මෙන්න මෙහෙ එනවා යන්න”
අතිනුත් ඇදන් යනවා ඒ පාර…ඔලිම්පික් යනවා කියලා හිතන්ද දන්නැ මෙච්චර හයියෙන් යන්නේ…ඒ මදිවට මගේ අතිනුත් අල්ලන් ඉන්න නිසා මාත් නිකන් මොකාද වගේ ඒ පස්සෙන් ඇදිලා යනවා…හෙමින් පලයන් මනුස්සයෝ
ටික දුරක් ගිහින් තමා අත අතෑරියේ…අම්මෝ අත නෑ වගේ
ඈතින් බස් එකක් එනවා පෙනෙද්දි බස් එක ළඟට එනකන්ම අපි දෙන්නා අතරේ කිසිම කතාවක් තිබුනේ නෑ…තරහා ගිහින්ද මන්දා මගේ මෝඩ ප්‍රශ්නවලට
“පරිස්සමෙන් යන්න”
කියලා එයා කියද්දි මගේ මූණෙ ඇදුන හිනාවත් එක්කම මං එයා පැත්තට හැරිලා,
“ඔයත් පරිස්සමෙන් යන්න…නෑ නෑ යන්න එපා ගිහින් එන්න”
කියලා කියද්දි ඒ මූණෙ ඇදුනේ මං ආසම විදිහේ ලස්සන හිනාවක්…ඒක හැමවෙලාවෙම බලන්න පුළුවන් හිනාවක් නොවුන නිසා මං හරි ආසා වුනා ඒ හිනාව දකින්න
________________________________________________
අදත් උදේම නැගිටලා ක්ලාස් යන්න ඕනෙ නිසා උදේම නැගිටින්න හිතන් හිටියත් ටිකක් පරක්කු වුනා…
වෙනදා වගේම අදත් බස් එකෙන් බහිද්දිම ෆෝන් එකේ මූණ ඔබන් ඉන්න රූපෙ දකිද්දි නම් ඉබේම මට හිනාවක් ආවා
ළඟට ගිහින් කතා කරනකන්ම මාව දැක්කේ නැති එකටත් මොනාහරි කියන්නම කියලා හිත කියද්දි මං කට හදාගත්තේ මොනාහරි කියන්න
“කෙල්ලෙක්වත් සෙට් වුනාද…මෙච්චර ළඟට එනකන් පෙනුනෙ නැත්තේ”
“මොකද අද පරක්කු වුනේ”
“රෑ ටිකක් වැඩිපුර පාඩම් කරන්න ඇහැරලා හිටපු නිසා ටිකක් වැඩිපුර නින්ද ගියා…මේ මේ මං අහපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නවා ආහ්”
“උත්තර දෙන්නම ප්‍රශ්නනෙ අහන්නෙ තමුසෙත්…ඇහුවොත් මහ මෝඩ එකක්මයි”
“ඉතින් ඔච්චර කියවන්න ඕනි නෑනෙ ඕකට…මං ඇහුව එකට ඔව් ද නෑ ද කිව්ව නම් ඉවරයිනේ”
“ඉතින් ඕකට උත්තරයක් ඕනිමද…තමුසෙ මගේ හොඳම යාලුවානේ ඕයි…ඉතින් ආත්මෙකට මට කෙල්ලෙක් සෙට් වෙයිද”
“අහෝ දුකකි ඉරකි තිතකි…හොඳ වැඩේ තමුසෙට”
“පරක්කු වෙලා ඇවිත් එනවා තව කියවන්නත්…මෙන්න මෙහෙ එනවා යන්න”
අතිනුත් අල්ලන් පාර මාරු වෙලා දෙන්නත් එක්කම ක්ලාස් එකට ආවා…
“අද මට හවස එන්න බැරි වුනොත් පරිස්සමෙන් යනවා හරිද”
“ඇයි එන්න බැරි”
“බැරි නෑ…මං කිව්වෙ බැරි වුනොත්”
“ඇයි ඉතින් බැරි වෙන්නේ”
“තමුසෙ නම් මහ ප්‍රශ්න වැලක් ඕයි…හවස හොස්පිට්ල් එකට යන්න ඕනි ඒක නිසා කලින් යන්න හිතන් ආවේ…දැන් අහන්න ඇයි එහෙ යන්නෙ කියලා”
ඒකම අහන්න කට හදන් හිටපු මම තොලත් හපාගෙනම ආපු හිනාව වාවගෙන් ඒ මූණ දිහා බලද්දි රවනවා හැටට හැටේ…කෙල්ලො පරාදයි
“හරි හරි රවන්න ඕනි නෑනෙ ඉතින්…ඇයි හොස්පිට්ල් යන්නේ”
“යාලුවෙක් ඉන්නවා බලන්න”
“මාත් එන්නද”
“නෑ නෑ වැඩක් කරගන්නවා…ක්ලාස් කට් කරන් එන්න එපා”
“ඔයා යන්නෙ එහෙනම්”
“ඒ මමනෙ…පරිස්සමෙන් යන්න එහෙනම් යද්දි”
ඔයත් පරිස්සමෙන් යන්න කියලා කියාගන්න හම්බුනේ නැත්තේ සර් ක්ලාස් එකට ආපු නිසා
ක්ලාස් ඉවර වෙලා අද මං තනියම යන්න ඕනි නිසා ඉක්මනට ක්ලාස් එකෙන් එළියට ආවත් ක්ලාස් එකෙන් එළියට එද්දිම පිළිමයක් වගේ අත් දෙකත් බැඳන් හිටන් ඉන්නවා කලින් ක්ලාස් එකෙන් ගියපු මනුස්සයා
“ගියේ නැද්ද ඔයා”
“ගියා ගිහින් ඉක්මනට ආවා”
“ඇයි”
“තමුසෙ තනියම යවන්න හිතුනේ නෑ”
_______________________________________________
අවුරුදු ගානක් ගෙවිලා ගිහින්…
ඊයේ රෑ ඉඳන් බලන් හිටියේ ඉක්මනට හෙට වෙනවා නම් කියලා හිත හිතා…නින්දක් නෑ මුළු රෑම
අවුරුදු ගානකින් දැකපු නැති ඒ රූපෙ බලන්න යන්න මං හිටියේ ඉවසිල්ලක් නැතුව…ෆොටෝස්වලින් කොච්චර දැකලා තිබුනත් මට ඕනි වුනේ මගේ ඇස් දෙකෙන්ම බලන්න…ටිකක් හවස් වුනාම ලෑස්තිවෙලා ගියේ කැෆේ එකට…
ඉස්සර වගේම අදත් එයා මට කලින් ඉස්සර වෙලා කියලා හිතුනේ මං යද්දිත් ඇතුලේ වාඩිවෙලා ඉන්න කෙනා දකිද්දි…
එයා හිටියේ මට පිටුපාලා වුනත් මං ළඟට ගියපු ගමන්,
“ඔයා අදත් පරක්කුයි ළමයෝ”
මගේ දිහා හැරෙන්නෙවත් නැතුව එයා එහෙම කියද්දි ඔලුවටත් එකක් ගහගෙනම මං වාඩිවුනේ එයා ඉස්සරහින්
කාලෙකින් දකිද්දි ඉන්නේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනා නෙමෙයි…කොල්ලා ලස්සන වෙලා…කාටද ඉතින් ආඩම්බර
“මාව කෑවම ඇතිද මේ මැඩම්ට”
කන්න වගේ එයා දිහා බලන් ඉන්න මගෙන් එහෙම අහද්දි වලක් කපන් වැලලෙන්න හිතුනා සත්තයි
තොලත් හපාගෙනම එයා අනිත් පැත්ත බලාගද්දි ටේබල් එකටත් රවාගෙනම මං බිම බලාගත්තා
පැයකට වඩා එතන ඉඳලා එතනින් එළියට බැස්සේ මෙයා දැන්ම යයිද කියලා හිත හිතා
මං තවත් මුකුත් හිතන්නත් කලින්ම මගේ අතින් අල්ලගෙන දෙන්නත් එක්කම පාර මාරුවෙලා පාර දිගේ ඔහේ යද්දි අදත් ඉස්සර වගේම මං එයා පස්සෙන් ඇදිලා ගියේ මෙයා මේ යන වේගෙත් එක්ක මට යන්න බැරි වෙද්දි
මොනා කරන්නද එයා නවතින්නේ එයාට නවතින්න හිතුන තැනනේ…හිතුනම අත අතාරිනකම් මං කෑගැහුවත් වැඩක් වෙන්නෙ නෑ කියලා දන්න නිසා කටවහන් ඒ පස්සෙන්ම ගියා
මගින් මගේ අත අතෑරලා අයිස් ක්‍රීම් දෙකකුත් අරන් එකක් මගේ අතට දෙද්දි එකක් එයාගේ අතේ තිබ්බා…ඒක කන්න පටන් ගද්දිම වගේ ටික ටික වහින්න පටන් ගත්තේ හිත ඇතුලෙ තියන ළමා මානසිකත්වය එළියට ඇවිත් ඉන්නේ කොහෙද කියලා පවා අමතක වෙලා යද්දි
මගේ හැටි දන්න නිසාමද කොහෙද අයිස්ක්‍රීම් එකත් කකා වැස්සෙ තෙමි තෙමි හිටපු මටත් මුකුත් නොකියා එයත් ඒකම කරන්න ගද්දි හිත ඇතුලෙන් නිකන් පිනුම් ගහනවා වගේ හැඟීමක් ආවේ
රෑ වෙනකන්ම දෙන්නත් එක්ක පිස්සු නට නට හිටියත් වෙලාව යනවා දැනුනෙම නෑ
වෙලාව රෑ එකොළහ පහු වෙලා තිබ්බත් හවස ගෙදරින් එළියට බැහැපු මම තාමත් පාරේ…තාමත් අපි දෙන්නා කියව කියව පාර දිගේ ඔහේ ඇවිදන් යනවා…එකට ඇවිදින්න බැරි වුන අවුරුදු ගානටම හරියන්න අද ඇවිද්දා වගේ නිකන්
වෙනදාට උදේ ගිහින් හවස ගෙදර ආවත් ඇඟට පුදුම අමාරුවක් දැනුනත් අද කිසිම අමාරුවක් නැතුව කිසිම ගානක් නැතුව පාර දිගේ ඔහේ යනවා
“ගෙදර යන්නෙ නැද්ද අද”
ගෙදර නම් යන්න ඕනිත් නෑ මෙහෙම ඉන්න තියනවා නම් කියලා කියන්න හිතුනත් කටවහන් හිටියේ ඕවා කියන්න ඕනෙ නෑ කියලා හිතලා
“දැන් යන් ළමයෝ…ගොඩක් රෑ වෙලානේ”
“යන් එහෙනම්”
ගෙදර ළඟට එනකන්ම දෙන්නා අතරේ තිබ්බේ දිග නිහැඩියාවක් වෙද්දි ගේ ළඟටම ඇවිත් එයා වාහනේ නවත්තද්දි,
“මං යන්නම් යශ්”
“යන්නම් කියන්නෙපා ගිහින් එන්නම් කියන්න”
එයා එහෙම කියද්දි මගේ මූණෙ හිනාවක් ඇඳෙද්දි මගේ වචනවලින්ම මෙයා මට ගහනවදෝ කියලා හිතුනා
“පරිස්සමෙන් ගිහින් එන්න”
බහින්න හදපු මගේ අතින් අල්ලගත්ත එයා,
“මං ආදරෙයි ළමයෝ”
එහෙම කියද්දි මං කොනිත්තගෙන බැලුවේ මේ හීනයක්ද මං මේ දකින්නේ කියලා…ඒ මූණ දිහාම බලන් ඉද්දි ඇස්වල බැඳුණු කඳුළු පටලෙකින් ඒ මූණ බොඳ වෙලා පෙනෙද්දි වචන පිටවෙන්නෙත් නෑ වගේ දැනුනේ මට
“මොකෝ ළමයෝ මේ”
“ඇයි ඕක කියන්න ඔච්චර කල් ගත්තේ”
“සමහර වෙලාවට ලුණුත් සීනි වගේනේ”
ඉස්සර වගේ ම මෙයා තාමත් එයාගේ ඒ දාර්ශනික කතාව කියද්දි අතටත් එකක් ගහලා අනිත් පැත්ත හැරුනේ ඒක මොකක්ද කියලා තාමත් මේ මෝඩ මොලේට තේරෙන්නෙ නැති එකට බොරු තරහක් මවාගෙන
විනාඩියක් යන්න කලින් මාව ආයෙම එයාගේ පැත්තට හරවගත්ත එයා කෙලින්ම මගේ තොල්වලට බර වුනා වෙද්දි මටත් ඕනෙ වුනේ නෑ ඒ පහසින් මිදෙන්න
“පරිස්සමෙන් යන්න මගේ ළමයෝ ආදරෙයිනේ මං”
විනාඩි දෙක තුනකට පස්සේ එයා එහෙම කියද්දි
“ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න…ආදරෙයිනේ මාත්”
එහෙම කියද්දි ඒ මූණෙ මං බලන්නම ආසා විදිහෙ හිනාවක් ඇඳෙද්දි තව ටිකක් වෙලා මෙහෙම ඉන්න තිබුනා නම් කියලා හිතුනත් හිතේ හැටියට ඒ රූපෙ විඳගෙන මං ගෙදර ගියේ…
________________________________________________
𝓝𝓪𝓭𝓾 💕